Tuesday, April 24, 2012

සිහිල් වදනක් සොයමි...


Edvard Munch, Dead Mother
 

උණුසුම සොයයි

අතොරක් නැතිව

හිස හොවා උකුල මත
වෙහෙසවයි පුංචි සිත
විමසයි දෙනෙත් විද

'මිනිසුන් මියෙන්නේ ‍කුමකටද
හැමෝටම ඒක වෙනවාද

සිඟිති අත මගේ මුව මත
සන්සුන්ව, නොවිය හැකි තරමට
මා දෙනෙත පීරවා 
අසරණව බලන විට
කියන්නද දරුවො මම
නුඹ දවන පැණය එම,
බියකරු ඒ ගමන ගැන
දැනගත් දිනයෙ පළමුව
මා හද ද බාල කල
ඇවුලුනි ගන සැරට
අද නුඹෙ පුංචි හද මෙන 

'කාටවත් නොපෙනෙන්න
වෙව්ලමින් හොරැහින්ම
නෙත් රැඳුනි මව දෙසම
තනිව වැලපිමි එදින
අහිමි බව දිනෙක ඇය
සිතට වැද සෝබරව

ඒ හැඟුම ඒ ලෙසම
හද පතුල දවන'යුරු
මකණු බැහැ කිසිඳු විට

නුඹේ ගිනි නිවාලන
සිහිල් වදනක් පුතුනි
සොයමි වෙහෙසව තවම.....

Sunday, April 22, 2012


Alone Girl Wallpaper


පා වෙන්න තරමට 
සැහැල්ලුව දී අහවරව
රිදෙන්නට හැකි තරම්
බිම අතෑරියද අපුලව
එතරම්ම නරක නැත
ඒ දෙඅත...

පැවරූ හිමිකම් සියල් 
අහිමි කළා වුව නොපැකිලම,
හදේ වටිනාම තැන
රඳවන්න තව දුරට
එතරම්ම නරක නැත
ඒ දෙඅත.....


Wednesday, April 18, 2012

A Cape Town Sunday


සිනිඳු වැලි කැට
වැඩිය බර නැති
මට්ටමට ගානට
වැතිර වෙරළත
අයිතිය ගොඩබිමට

මුහුද මුදුවද රළුවද
කැඳවගෙන යයි
නොගෙනම අවසරය
කිසි වගක් නැතිවම

යළි එවයි වෙරළට
පුරුදු වැලිකැට අතරට
එද නොගෙන අවසර ‍
රිසි ලෙසය මුහුදට

වැලි කැට කැමති ඇති
අකමැති බව නොපෙන්වන හැටි
අත් හරිනු නැති
බැදීම වගකීමට
දෙවැනි ඇති....

Tuesday, April 17, 2012

සෙනෙහස
ඇවැසි තරමටත් වඩා ඉල්ලන
යදින තරමටත් වඩා දෙන,
තරමක් කහ පැහැ ගැන්වූන
ප්‍රේමය

පිළිවෙලකට එකේ සිට
අංක ලැබගෙන,
අසලම මග කියූ කවරද,
විසි නොකර එකඳු අකුරක්
පරණ පීත්ත පටියක
ගැට ගැසූ ප්‍රේමය

ඉඳහිට ලිහා
කියවන, පිරිමදින
සිහිනයක පා වන
ටිකක් වැඩිපුර
තව ටිකක් වැඩිපුර...



පිනි බිංඳු
තුරුපත් යට සිටින
එබිකම් කරයි
හිරු වෙත...

තුරුපත ලබන
කෙටි සිසිලකට
ඉඩ හැර
'පිනි වියළීම
හිරු අත හළ බව
නොදැන...


A new day...  Happy Easter!


Wednesday, April 11, 2012


වේගවත් ජල කඳකට
නාසයක උස පරදන්න
හැම විටම කාලෙ මදිවන
ඒ අද්දරම කරකැවෙන
හරි පුදුම සහගත

දැන් උඩට ගලයි යන
පැතුමකි තවම ඉටු නොවුන
යටව තිබුණද මුලු සිරුර
දිය උල්පත තවම
නාහෙන් උඩට නොගලන

වැඩි වන දිය කඳට එරෙහිව 
තව තව උඩට නාසය
ගෙන යන මේ සිරුර
නොපරදින කිසිවිට 
හරි පුදුම සහගත

Tuesday, April 10, 2012


.....අහිංසක දඩබ්බරයා.....


මට පිස්සු නැහැ යාලුවනේ

සිතුනත් උඹලාට ඒ වගේ ...


ඉගිලී ඔංචිල්ලා

පදින එකතුව නුඹලා

දුව එන්න ඒ දැකලා

හිතුනද නොඑමි පිඹලා


වැරෙන් හැකි වෙර යොදා

පහර දී බෝලයට

වහළවල් උඩින් ගොස්

සංගන්න අහස තුල

බැරි වෙන්න උඹලාට

සොයා ගන්නට බෝලෙ

කැමැත්තෙනි මම ඉන්නෙ

දිනපතා හවස් කල


අම්මා විඳවන අමුතු ලෙස 

ගෙතුල ලෙඩවී නොම බැස

සිටි අයුර දකින විට ම'මනස

අවුල් වන බව සැබවි නිතරම...


කළුවරේ රෑ අවදිවන

අහම්බෙන් දහවල දකි

නකුඹුරන සියලු පැය ගණන

සොච්චමකි පියා ගෙන එන


නිවන අප බඩ ගින්දර,

දසුන මම දකින

හැම වර 'පියාණන්ගේ රුව

මහද අවුලන ගින්දර,

සෙල්ලම් නොකල වුව

කිසිවිටඅවුල් වෙන්නෑ සිත එමලෙස


බලාගෙන සිට ගල් ගැසුවාට 

උඹලා සෙල්ලම් කරන දිහාවට

හිරිහැර ‍වන ලෙසට උඹලාට

දොස් දෙමින් ඇනුම් පද කීවාට


කාණුවක මඩ වලක වැටී සිටි

බලු පැටව්ගොඩට ගෙන හෝදන්න

කන්න ටිකකුත් දෙන්න

උඹලාට පුලුවන්ද මට වගේ

මඩවලට බය මහත්තුරුනේ


මට පිස්සු නැහැ යාලුවනේ

සිතුනත් උඹලාට ඒ වගේ ...


එකතු වන්නට සිතෙන්නෑ

උඹලා එක්ක දුව පැනලා

ඇවිත් මාවත් බලෙන් හෝ

ගනිව්කෝ එක් වෙලා

කරදරම විතර නොවන බව

මට දැනෙයි සැනසුමක් ලැබිලා

හිත මගේ නැත්තෙ නෑ

යන්න ළමා ලොව පාවෙලා....