මලක් සැනසුමින්
කෙටි සිනා නංවන
කුඩා උයනෙහි දොරටුව වසා
නිම වුන වෙලාවක
පාට කළ මල් පෙති ටික
පුරා ගැල්වූ සුවඳද
වීසිකර සුළඟට,
කෙතරම් පියකරුද මේ
ගා ගත්ත ලා වර්ණය
සබඳ,
මේ මගේ රජදහන
නිදහසට උචිතව
කැමති ලෙසකට
අතු පතර විහිදුවන
සකලයන් විවිධ එන
විටින් විට
කූඩු තනනට
විහිදුන අතු අතර,
කලක් රඳනු නොහැකි බව
දැනගෙනම වුව
මිය ගියද කිහිප විට
රිදෙන්නේ ඇයි
නැවත නැවතම
මියෙන විට,
කිසි දිනක
මිය නොගිය විලසට
හොඳ සියළු දෙයම එකවර
රඳව ගත නොහැකි වග
වටහගෙන,
දැඩි සුලඟ හමන විට
පොහොට්ටු ටික
තුරලු කරගත්
අරලියා ගස
බිමට හැලුවාය
පිපුණු මල් ටික
හිරු නසන සිහිල
යලි රැගෙන
මල වෙත
දුවන
පිනිබිඳ
වසා ගත් දෑස විවර කරනට,
සැහැල්ලු පියාපත්
මොහොතකට ලං කරනට
වෙහෙසෙන ඔබ,
දැන සිටියාද විය හැක
සෙලවිය නොහැකි බව කිසිවිට
රිසි නොරිසි
සංඥා සියල් විසන්ධිව
අඳුරු ලොවකට
ගිලා බැස ඇති විට
තල්
මලක් පිපී....
දැන් ඉතින්
පිටත් විය යුතු හෙයින්
ඉනු කඳුළු සඟවමින්
සිනාසීගත් වනම
අත වැනුවාය
ලා කහ පාට පුංචි මලට
උසම උස තල් ගස...
ඔබ
පින් පාටට
පෙර
බවයෙ හුඟක් දෙන්නට ඇත
මා
හුඟක් ගන්න ඇත
මා
තවම ගෙවමින් ඔබට
අදිටනින්
ඉතිරි
නොකරම ණයකට
පැතුමකින්
සම
පිනැති
අයවලුන්ව
නැවත
හමුවකට
වල ගැසුණු කම්මුලක
සිනහව,
මා මට අමතක කරවන
තැන නොතැන නොබලා
තනි රකින,
ආපසු අදින
ලං වන්නට පොළඹවන
විගස සිටි තැනම
මා අතැර සැගවෙන....