Thursday, December 29, 2011



සලු පිලි රහිතව වුව
උදාරව වැජඹෙන 
ඔබ
සලු පිලි සහිත වීමට 
මා දරන 
දුබල වෙහෙසට
හිනැහෙන....



අහිමි සෙනෙහසට...

                                          අහිමි සිනහව පතන හද ගොස
                                          පවුරු බැන්දෙමි සුසුමෙ බලයෙන
                                          සැඟව මගෙ හිස පපු තුරුලෙ ඔබෙ
                                          යළිත් කවදා විඳිමි එසුවඳ

                                          අහිමි බව මා දනිමි ඔබ මට
                                          ඉඩක් නැති වග ඔබේ ලොව තුල
                                          ඇයගෙ ලොවෙහිදි දරුවො අබිමුව
                                          දැනෙනවද මග බලන මගෙ හිත

                                          නිල් අහස සේ පැහැදිලිය මට

                                          කරත මෙවරද මහමෙරකි බර
                                          ඒත් ඔබ ගැන හදේ ඇල්මට
                                          කුමක් පවසා දොර වසන්නද

                                          පවක් යැයි එය කියත් අන් අය

                                          මෙරක් සේ මහදේ ලැගුම් ගෙන
                                          කෙසේ මකමිද මධුර මෘදු වූ
                                          ඔබේ සෙනෙහෙන් හැඩවු පුරහඳ


..
අම්මා..



ලොවම දිනුවේ ඔබේ කුලුණින
දරා ගත් දුක සිනා මුවගින
ඔබේ දෙඇසින් මගේ ලෝකය
දිනන්නට විහිදවූ එළියෙන

ඔබේ එඩියම පුදා මහදට
දිනා දෙන්නට වුනේ සතුටම
සෙනෙහසේ උල්පත නොවියළෙන
එදා මෙන් අද දිනත් සනසන

දුක් පිඩා දරා සගවලන්නී
දිවියෙ හැම සෙත ඔබ පතන්නී
අදත් ඇල්මයි උකුලෙ නැලවී
විද ගන්න ඔබෙ සුවදෙ හැංගී...



ලොවටම ඇසෙන සේ 
නීරස යැයි කියන
කනට කර 
රහසේ කොදුරන
රස යැයි තවමත්,
අතරමං 
කරනට 
හදා ගත් 
සිත... 

කලු ගලක්ව 
දරනයුරු
වැදෙන 
කුලු පහර
එක පිටම


දෝරෙ ගලන 
ආදරයෙ චමත්කාරය
ඔබ හද පිරූ,
සෙනෙහෙ වැහි බිඳු වී
හෙළන විට
ගිලීගෙන යන රඟ
මහද ගඟ පිටාරා




හෙළන කදුලැලි වලට
ඔබ සතු
ක සයුරක 
ජලය පරදින
කිසිදු විටකදි 
තෙමනු නොහැකිව
එකදු වැලි කැටයකදු 
එබිමැති

බලනු නෙත හැර 
වැටෙන් එපිටට
පිපිණු එමලෙහි 
එකම පිනි බි

තෙමා ඇතියුරු
පුරා හැම අහු
ඔහුගෙ හද බිම 
සිහිල් දහරක



ආලෝකයට
අවසඟව
තිමිරයට 
පැරද,
තවමත් 
මම එතැන
වසර කීයක් 
පසු කලත්
ඒ ආතුර වූ
සෙනෙහස් 
මෝහනයටම 
නතුව..


හදිසියෙම පිපී
ගිනි මලක්ව
දැවටෙමින් දැවී
පහන් සිලුවේ,
පෙති විසුරමින් 
නටඹුන්ව 
නොකියාම මැලව යන 
මෙරුන්...


හිමිකාරිය කර
සියල්ලකම  
පැළැන්දූ
ආලයේ රන් තැල්ල
සිර කරන 
ඇගේ ගෙල
සන්ත්‍රාසයක්ව

සංයමයෙන් ඔහු 
සංත්‍රාසයේ උණුසුම 
පහව යන තෙක්...



ඔබ යන්න 
හැකි තරම් ඈත දියඹින්,
තරණය කරන්න 
සිය දහස් සමුදුරු වලින් නෞකා,
සරතැස නිවන්න 
හැකි තරම් නිම් වළලු පා කර,
එහෙත් මා වෙතට එන්න 
අවසනදි දා ගන්න නැංගුරම්...

Monday, December 12, 2011



තෙදවත් ගං හිසෙන් 
ඇදෙමින්
සුපසන් බසින් 
පොබයමින්
නැළවෙමින්
ගං දඟර මවමින්
ආදරේ බරින්
මගේ ලයාදර දෙවුරට මැදිව
ගලන ඔබ ගඟයි...

එසුමිහිරි නදටද දසුනටද
වසඟව ගං නිධිය රකින
සුකොමළ රලු පහසට 
නෙත් අයන
ගඟේ තව අගය දනවන
මම ගං තෙරයි....



මුණින් තලාවු කළවල දිය
රැඳෙයි යැයි සිතෙන
හිරු මගට පිළිපන්ව
අසුරු සැණින් වියැකෙන
පිනි බිඳුවට 
ලොල් බඳින හදවත
මිහිදන් කළෙමි
සදහටම...



නැත ඉවසුමක්..

කලකිරුණු අත් දෙකක්
පණසුන්ව අතැඟිලි ටිකක්
අහිමිව සුරතක පහසක්
දළුලවන ලතැවුල් උණුසුමක්

නිදි අහිමි නෙත් දෙකක්
සෙලවෙන බොර පාට දසුනක්
දකින්නට නැතිව ඉවසුමක්
මිලින කල සොඳුරු සිත්තමක්....



ඉබි කටුවකින් වැසී ඇති 
පෑරුමක් ඇති හැඟුම් ඇති
මිය ගියත් යළිත් ඉපිද ඇති
සඟවන්න බැරි සුමුදු හද ඇති

රළු වැලිද හා ගිනිද හෙළමින්
මල් වැස්ස වී වසින්නෙත් නුඹ.....

ලයාදර හව්හරණ නැති වුව
පෑරුණත් සිත මුවින් හිනැහෙන
ඈත සැඟවී දුරින් දුර යන
සතුට දැක එක තැනම රැඳෙමින

සයුරු කෙළවර නිමක් නැති රළ
වෙරළ ලෙස සිප රකින්නිය මම.....


සරාසද ඔබ වුවන
දකින්නට ලොබ බැන්ද
ලොවක් ඉන් සැනසුනත්
මුලු එළිය මගෙ සිතුන

තනි යහනෙ සැතපෙද්දි
කල්පයක් ගෙවාලන
ජනේලෙන් එබී ගෙන
සද සිහිල ගෙතුලටම

මැකී ගොස් යෝධ සිත
ගිගුම් දුන් හයි හත්ති
සැනසෙන්න කැමති වෙමි
අඩ සදේ එළිය දැක....


  
   ..ප්‍රේමය..

 කැදලි වල කිචි බිචිය
හිරු සිනා එළියටය
පායන්න හිරු ම'සිත
ඇවැසි ඇයි ප්‍රියය ඔබ

එළිය කර මල් ගොමුව
පාට කර සුවඳ කර
දැනෙන්නට හද ගැබට
රඟන්නට මන්මත්ව

ගලා යන දිය පොදක
සිහිල පය ‍තෙමාලන
සිහිල නොදැනෙන හදය
ඉරි තැලුනු වැවක් මෙන

කතරකට පිනි ඉසින
පිය තෙපුල නොලද සැන
දස දෙසට බෙදනු ලෙස
සිනා කොයි මුව කමල

සුළගෙ නටමින් තෙත්ව
ලිහිල් කර දෙ‍තොලඟට
සිනා පොද රඳවන්න
ඇවැසි ඇයි ප්‍රියය ඔබ....

Sunday, December 11, 2011



පෙනෙන'යුරු සුන්දරය
එක මතම එක පිටට
වැටෙන විට
ගසෙහි සිට
වැහි බිංදු එකම ලෙස

රිදුන වුව
මුනිවතින
තව රිදුම් දරත හැකි
මහ පොළොව....



පහතට නැමෙන 
පහසුවට නොකැඩෙන
සිහින් කඳ ඇති
ගසක් වෙන්නට
කියා දුන්නාය

පැලෑටිව සිට
උරා ගෙන සරු බව
උස්ව නොබියව
පැතිරෙන්න පළල්වට
කියා දුන්නාය

වැටට එපිටින් ඇති 
වල් ගස්වලට වුව
අණසක 
පැතිරවිය හැකි බව
කියා දුන්නාය
ජීවිතය....