සිහිල් වදනක් සොයමි...

උණුසුම සොයයි

උණුසුම සොයයි
අතොරක් නැතිව
හිස හොවා උකුල මත
වෙහෙසවයි පුංචි සිත
විමසයි දෙනෙත් විද
'මිනිසුන් මියෙන්නේ කුමකටද
හැමෝටම ඒක වෙනවාද'
සිඟිති අත මගේ මුව මත
සන්සුන්ව, නොවිය හැකි තරමට
මා දෙනෙත පීරවා
අසරණව බලන විට
කියන්නද දරුවො මම
නුඹ දවන පැණය එම,
බියකරු ඒ ගමන ගැන
දැනගත් දිනයෙ පළමුව
මා හද ද බාල කල
ඇවුලුනි ගන සැරට
අද නුඹෙ පුංචි හද මෙන
'කාටවත් නොපෙනෙන්න
වෙව්ලමින් හොරැහින්ම
නෙත් රැඳුනි මව දෙසම
තනිව වැලපිමි එදින
අහිමි බව දිනෙක ඇය
සිතට වැද සෝබරව'
ඒ හැඟුම ඒ ලෙසම
හද පතුල දවන'යුරු
මකණු බැහැ කිසිඳු විට
නුඹේ ගිනි නිවාලන
සිහිල් වදනක් පුතුනි
සොයමි වෙහෙසව තවම.....