Wednesday, December 7, 2011



වරදක් නොවුනත්...


ඒ වෙලාවෙ දුරට හිතන්නෙ නැතිව ඒක කළා. එයා මේකට කැමති නෑ කියලා මම දන්නවා. අනේ මන්දා ඔෆිස් ආවට පස්සෙ තමයි මට ඒ වැඩේ බරපතල කම දැනුනෙ.ඇත්තටම මට හුඟක් පරක්කු වෙලයි තිබුණෙ ඒ වෙලාවෙ. ඒකමයි කිසි දෙයක් නොහිතාම මං ඒක කළේ. ‍ඒ කරපු දෙය විශේෂයෙන් වරදක් නෙවෙයි. එයා නම් කීයටවත් හිතන්නෙ නෑ මං එහෙම දෙයක් කරයි කියලා. ඒකත් මගේ මෝඩ කමට කරන වැඩ ගොඩට දායි. මට ඒ තරම් සමාජයෙ අය ගැන තේරුමක් නෑ කියලයි එයා හිතන්නෙ... එයාට මාව පේන්නෙත් සහ එයා මාව දකින්නත් කැමති, මං කිසිම පිරිමියෙක් දිහාවත් නොබලන, කිසි පිරිමියෙක් එක්කවත් හිනානොවෙන කෙනෙක් විදිහට. කොපමණ අවස්ථාවල මං විතරක් හොඳින්ම දන්න අයව, අදුනන්නෙ නෑ වගේ ඉදලා තියෙනවද? එයා ලඟ ඉන්න වෙලාවට. මං මටවත් අයිති නෑ වගෙයි වෙලාවකට. 

මාව අපහසුවට පත් කරන්න නම් මගේ මුහුණෙ තියෙන බුම්මන ගතිය එයා පාවිච්චි කළාට, එයා ඇත්තටම කැමති මට වෙන පිරිමි ඉදිරියෙ ඒ බුම්මන මුහුණ තියෙනව නම් තමයි.. 

ඔෆිස් එකේ වැඩ කරද්දිත් හිතුනෙ එයාට මේක ගැන කියන විදිහ ගැනම තමයි. කියලා මගේ හිත සැහැල්ලු කර ගන්න එක ගැනයි. ඒත් ආයෙමත් ටිකක් බයයි. අනිවාර්යයෙන්ම මට බනිනවා එයා...මීට කලින් මෙහෙම දෙයක් වෙලා නැති නිසා. මොන විදිහට මේකට බනියිද කියලා හිතා ගන්න බෑ...මට කිසි විදිහකට දරා ගන්න බැරි විදිහට තමයි එයා මේකට නම් බනින්නෙ.. මං දන්නවනෙ එයාගෙ හැටි...

ඒත් මං දන්නෙ කොහොමද එයා එන ගමන් කී දෙනෙක්ට මේ විදිහට උදව් කරනවා ඇද්ද කියලා.. කියන්නෙ නම් පිරිමි යාලුවන්ව හැර කිසිම ගැහැණු යාලුවෙක්ව කවදාවත් එයාගෙ වාහනෙන් බස්සවන්නෙ නෑ කියලා තමයි...

ගෙවල් ලඟ ඉන්න මනුස්සයෙක්ගෙ වාහනේ නැගලා ඔෆිස් එකෙන් බැහැපු එක ඒ තරම් වරදක් වෙන්නෙ කොහොමද? මං හිතන්නෙ ඒ මනුස්සයා මගේ දිහා කිසිම නරක ඇහැකින් බැලුවෙ වත් නැද්ද කොහෙද...කොටින්ම මගේ හිතෙත් කිසිම නරක හැගීමක් ඇති වුනෙත් නෑනෙ. ඒ මනුස්සයගෙ එහෙම හිත ඇදිලා යන පෙනුමකුත් නෑ.......නිතර දෙවේලෙ දකින ඒ මනුස්සයාව මොකට සැක කරනවද?.... ඒ විදිහට සැක කරලා අපි ජීවත් වෙන්නෙ කොහොමද කියලයි මට දැන් හිතෙන්නෙ... අනික එයා හොදටම දන්නවා මොන වාහනේ නැගලා ආවත්, මං මංමයි කියලා... එයා තරම් කෙනෙක් මට තව නැති බවත්. මේ වගේ සුලු දෙයක් විසඳගන්නවත් බැරි එයාත් එක්ක මොනතරම් අමාරුවෙන්ද මං කාලෙ ගත කරගන්නෙ.....

එක්කො කියන්නෙ නෑ.. කිසි දෙයක් වුනේ නෑ වගේම ඉන්නවා.. මං වරදක් කළේ නැහැනෙ....නැත්තන් මේක දුරදිග ගිහින් අපේ අම්මලාටවත් කිව්වොත් එහෙම . ඊලඟට අක්කත් දැන ගනියි. එයාටත් ඕන මගේ වරදක් දකින්නනෙ.. අම්මගෙනුත් තවත් දීර්ඝ උපදෙස් ටිකක් අහන් ඉන්නත් වෙයි.. එක්කො කියන්නෑ. මේක වරදක්යැ... කිසි දෙයක් වුනේ නෑ වගේ ඉන්නවා. මං වරදක් කළේ නෑහැනෙ. කියන්නෙ නෑ නෑමයි... කිව්වෙ නැත්තං එයාට දැන ගන්නත් විදිහක් නෑනෙ...

වැඩ ටිකත් අවුල් අද.. මේව අමතක කරලා වැඩ කරන්න පටන් ගත්තා විතරයි. දුරකථන ඇමතුමක් මට. එයාගෙන් මගේ අංකය ඉල්ලාගෙන ඒ මනුස්සයා කථා කරනවා. කවුද කියලා දැනගත්තම මට පුදුම කේන්තියක් ආවෙ. මේ මනුස්සය නිසා මං මෙතරම් විඳින කරදරය මදිද දෙයියනේ.. ආයෙමත් කතා කරන්නත් පටන් අරන්.. එක එක දේවල් කියනවා. මට පැහැදිලි වුණේ අන්තිමට.. හපොයි... මගේ කුඩේ මං වාහනේ දාලා ඇවිත්. ඒ නිසා එයාට කතා කරලා කුඩේ දීගෙන ගියාලු.. පොඩ්ඩක්වත් ඉවසන්න බැරි මනුස්සයෙක්.

හවස ගෙදර ආවෙ එයා මගේ කුඩෙත් අරගෙන. එක අතකට හැමදේම විසඳෙන්නෙ ක්‍රමයකටනෙ. මීටත් වඩා නරක විදිහකට එයාට ආරංචි වෙන්නත් තිබුණා. එහෙම වුනානම් එයාව පරණ තත්වෙට ගේන්න මට නොසෑහෙන මහන්සියක් ගන්න වෙනවා. ඒක මෙහෙම වුනායින් මට එයාට ඒ සිද්ධිය කියා ගන්නත් පුලුවන්නෙ.. හ්ම්..හිතටත් සහනයක් ඒක ඒ විදිහට වුන එකත්..


No comments:

Post a Comment