Wednesday, December 7, 2011



තනිවීම
ඊයෙ රෑ තිස්සෙම දුරකථනය නාද වෙනතුරු බලාගෙන හිටියා. කිසිදු සැනසිලිදායක පිළිතුරක් නැති දිගු රැයක්. හරිම වේදනාත්මකයි. මම මේ ජීවිතේ අපුමාණ දුක් දෝමනස්සයන්ට මුහුණ දීල තියෙනවා. ඒත් ඊයෙ ගත කරගත නොහැකි වූ දිගු රැයක්.

ඊයෙ දවල් පවුල් උපදේශිකාවයි උපදේශකයයි මට පසුව කතා කරන්නම්, ගෙදර යන්නකිව්වා. එයා එක්ක තනියෙන් කථා කරන්න අවශ්‍යයයි කියල. හීනෙකින්වත් හිතුවෙ නෑ එයාව දකින අවසාන වතාව ඒකයි කියලා. උපදේශක මේසෙ පැත්තක එයාගෙ නෝනයි පුතාල දෙන්නයි ඉඳගෙන හිටියා. මං නිකන්ම ආගන්තුකයෙක්. හෑල්ලුවට පත් වෙන්න නියමිතව. මම ගෙදර ඇවිත් එයා එනකන් බලාගෙන හිටියා. 

අද හවස් වෙනකන්ම මම එයා එනකල් බලාගෙන. එයා වෙනුවෙන් පෙනී හිටපු උපදේශක මහත්තයාගෙන් එයාගෙ නොපැමිණීම ගැන දැන ගන්න පුලුවන් වෙයි. මම උපදේශක තැනට දිගටම දුරකථන ඇමතුම් දෙනවා. වෙන මොනවා කරන්නද? එයාගෙ දුරකථනය විසන්ධි වෙලා ඊයෙ දවල් ඉඳලම...

මට එයාව අයිති නැති බව ඇත්ත. එයාගෙ අයිතිය එයාගෙ දරුවන්ට සහ එයාගෙ නෝනාට. ඒ අය ඉල්ලන ඕනෑම නඩත්තු මුදලක් මං රට ඉඳන් උපය ගත්ත සල්ලිවලින් හරි දෙන්න මං එයාව උනන්දු කළා. එහෙම වුනායින් පස්සෙ අපි දෙන්න නිදහස්. අපේ ලෝකයක්. ලස්සනට ඉන්න පුලුවන්. 

අපි හිටියා හරිම ලස්සන ලෝකයක. දැනට අවුරුදු දෙකකට පෙරදි එයාව මට මුන ගැහුනෙ. දරුවො දෙන්නෙක් ඉන්න බව එයා මට කිව්වා. එයා මට සලකන්නෙත් දරුවෙකුට තරම්ම මුදුව.. සුන්දරව..එයා නැති වුනොත් මගේ ජීවිතය පුරවා ගන්න බැරි හිස් තැනක් වේවි. 

මම කලිනුත් අපමණ විරහ වේදනාවන් විඳලා තියෙනවා. ඉන්පසුව වසර දෙකක ප්‍රේම සම්බන්ධයකිනුයි මගේ පළමු විවාහය සිදු වුනේ. ටික කාලෙකින්ම ඔහු, මට වඩා ලාබාල කාර්යාල ලේකම් එක්ක සම්බන්ධ වුනා. නොසිතූ නොපැතූ දෙයක් ඒක. දරුවන් නැති මට සැමියාවත් නැති වුනා..දන්නා තරමින් මගෙන් කිසිඳු වරදක් උනේ නෑ. මං පාලු ලොවක තනි වුනා. කිසිඳු කෙනෙක්ව මගේ ලොවට ලං කර ගන්න මං හිතුවෙම නෑ ආයෙත්. ඒත් ඊට වසර ගණනකට පස්සෙයි අහම්බෙකින් මට එයාව හමු වුනේ..මගේ හිතත් එයාට ඇදිල ගියා. හැමදේටම වගේ හරියටම කිව හැකි හේතුවක් නැතිවයි එහෙම වුනේ.

එයා නැතිව මං කොහොම ඉන්නද? දෙතුන් වරක් ජීවිතේ වැරදුන මට මේ අවස්ථාව මග හරින්න කොහොමටවත් අමාරුයි. රෑ එළිවෙනක්ම මගේ එකම හැඟීම වුනේ එයාව මට ඕන කියන එකමයි. එයාගෙ බිරිඳත් මේ වගේ හිත තුවාල කරගෙන ඉන්න ඇති. එයාගෙ ආදරෙන් බෙහෙත් කරව ගන්න බලා ඉන්න ඇති. ඒ ගැන ලොකුවට හිතන එක මම මග හැරියා. මං මහන්සි ගත්තෙ නෑ. ගත්තෙ නෑ නෙමෙයි එහෙම හිතන්නවත් මං දුන්නේ නෑ මගේ හිතට.

හිත පැත්තක සැඟවුන ‍‍ එක්තරා සැකයකිනුත් නොහිටියාම නොවෙයි.. 

පැය ගාණක්ම කතා නොකළ උපදේශක තැන මගේ දුරකථනයට අන්තිමට පිළිතුරු දුන්නා. "...එයා එයාගෙ නෝන එක්ක සමාදාන වෙලයි ඊයෙ ගියේ... දරුවො දෙන්නෙක් නෙ..."


No comments:

Post a Comment